Breaking News

Friday, October 10, 2014

අන්‍යාගම් අතර බුද්ධාගම දියකරහරින සර්වාගමික නරි නාටකය

ගෞතම බුදු සසුන පන්දහසක් කල් පවතින බවත්, අවුරුදු දෙදහස් පන්සීයක දෙවන අවධිය බුදු සමය පිරිහෙන යුගය බවත් කියවෙයි. (පිරිහෙන්නේ බුදු දහම නොව, මිනිසුන්ගේ ප්‍රඥාවයි)මේ යුගයේ අකලට පහළවන මෛත්‍රී බුදු වරුන්, ශ්‍රාවකයින් ක්ෂණිකව නිවන් දක්කන්නන්, බොරු අභිඥාලාභීනුත්, පුද්ගලික ලාබ සත්කාර උදෙසා සිවුරු දරාගෙන පන්සල ව්‍යාපාරික ස්ථානයක් කර ගත් ඇතැම් මහණුන්, එකි නොකී සකලවිධ ශාසනික කද පණුවන්ගේත් කල් ක්‍රියාවන් දකින විට සිතෙන්නේ එකී පිරිහීම අප ඇස් ඉදිරිපිටම දක්නට තරම් අපි අවාසනාවන්තයන් වී ඇති බවයි. එපමණක් නොව, සර්වාගමික සහජීවනය නමැති මායා දැලේ පැටලුණු ඇතැම් හිමිවරු බුද්ධ දේශනයට ද පිටුපා බුදුන් පිටුදැකි මිත්‍යාවන් පන්සලට ගාල් කරගෙන ජවුසන් නටනු දැකීමට තරම් බෞද්ධයන් අවාසනාවන්ත වී ඇති සැටි.

එදා තුන්කල් දුටු ණුවනින් අනගාරික ධර්මපාල උතුමන් කියූ දේ අද සැබෑ වී ඇත. "කලු සුද්දන්ගේ ඉනා බෙහෙත අපේ ඇතැම් භික්ෂූහූද කා ඇත. ඔවුහු තුන් පිටකය, දහම් පදය කුණු මුල්ලට දමා සර්වාගමක් ගැන දෙසති, බුදු දහමත් දේවාගමුත් එකැයි කියති. පල්ලියේ චාරිත්‍ර පන්සලේ කරවති. නොම්බි අරවති, ගවලෙන් තනති. පන්සලෙත් පල්ලියෙත් දැල්වෙන්නේ එකම පහණ යැයි කියමින් විලාප තබති. සහජීවනයට මුවා වී බෞද්ධ තරුණ පරපුර බුදු දහමෙන් ඈත් කර සර්වාගමික ගැත්තන් කරවීමට යත්න දරති. කොටින්ම කියනවානම් දහම් දීපයේ දම් අමාව බත් වෙනුවට කති. මෙකී සිවුරුධාරීන් සහජීවනය තව තවත් තර කරගැනීම උදෙසා නුදුරේදීම පන්සලේ භූමියේ පල්ලි තනාගන්නටත් ඉඩ දුන්නොත් එවා එතරම් පුදුම විය යුතු කරුණු නොවේ. සර්වාගමික සහජීවනයෙන් දෙනෙත් අන්ධ වූවන්ටත්, අන්‍යාගමිකයන්ටත් මේවා උදම් ඇනීමට කාරණාය. ඇතැම්හූ මෙන්න සහජීවනය යැයි කියමින් සාදුකාර දෙති. එනමුදු සැබෑ බොදුනුවකුට මේ විගඩම් දෙස බලමින් සතුටු විය හැකිද?

"පන්සලක් තුළ මුස්ලිම් ජාතිකයන් නෝම්බි අරින අශෝභන දර්ශනය අපි මුල්වතාවට දුටුවේ කොළඹ මාළිගාකන්ද අග්‍රශ්‍රාවක විහාරයේදීය. ඉන් පසුව ගම්පහ ප්‍රදේශයේදී ප්‍රකට නාටිකාංගනාවක් මුස්ලිම් ජාතිකයන් සමග බුදු රුවට පිටුපා නෝම්බි අරින ඡායාරූප පළවිය. (වම් පස ඡායාරූපය) අනෙක් ඡායාරූපය මාරවිල දෙමටපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක දී ලබාගත් ඒවායි"

බොහො අය සිතා සිටින්නේද. වත්මන් සමාජයට සිතන්නට උගන්වන්නේද මෙය බහු ආගමික, බහු ජාතික, බහුවාර්ගික රටක් ලෙසය. ‍නමුත් මෙය අතීතයේ මෙන්ම අනාගතයේදී ද සිංහල බෞද්ධයන් මූලික කරගත් "සිංහල බෞද්ධ" රටයි. ඕනෑම රටක ඓතිහාසිකවම උරුමක්කරුවන් වූ මහ ජාතියක් සිටින අතර එහි වෙසෙන සුලුතර ජන කණ්ඩායම් හදුන්වන්නේ ජාතීන් ලෙස නොව "ජන වර්ග" ලෙසය. ඒ බහුතර ජාතිය විසින් ඓතිහාසිකව ගොඩනගන ලද සංස්කෘතියක් පවතින අතර ඔවුන් විසින් සැමදා අනුගමනය කරන්නේ එම සංස්කෘතියයි. අන් සියලුම ජන කණ්ඩායම් ඒ සංස්කෘතියට අනුගත වී ජීවත් විය යුතුය. ඒ ලෝකයේ කොතනටත් පොදු සාධකයයි. ඒ අනුව බලන කල මේරටේ ප්‍රධාන ජාතිය වන්නෙ සිංහලය, ඔවුන්ගේ ඓතිහාසික ආගම වන්නේ බුදු දහමය. එසේ හෙයින් මෙය සිංහල බෞද්ධ සංස්කෘතිය පාදක කොටගත් දේශයකි. මේ සිංහල බෞද්ධ ස්ථාවර පදනම බිද දැමීම සදහා අනෙකුත් සුලුතර ජනකණ්ඩායම් විසින් කාලාන්තරයක් තිස්සේ විවිධ වූ රහසිගත උපායයන් අනුගමනය කරන අතර. විවිධ වූ මනොමූලික උපක්‍රමයන් අනුගමනය කරමින් මහජාතියේද මොල සෝදන ආකාරය දැන් එලිපිටම සිදු කරමින් පවතින බව නම් නොරහසකි. ඒ සදහා මහ ජාතියේම දේශපාලන ප්‍රබලයන් පමණක් නොව බෞද්ධ භික්ෂූන් වහන්සේ (ධර්මපාල උතුමන්ට අනුව ඉනා බේත් කෑ පල්ලි නිකායේ ශ්‍රමණයින්) පවා ඉත්තන් ලෙස යොදා ගන්නා බව කූප්‍රකට කරුණකි. මේ අතරින් දැඩිලෙසම සමාජගත කරමින් සිටින්නේ බහුජාතික, බහු ආගමික සංකල්පයයි... සියලුම ජාතීන් එකය. සියලුම ආගම් එකය. යන මතය සූක්ෂම ලෙස වත්මන් පරපුරට කාවද්දමින් කරගෙන යන මේ "සර්වාගමික" මේනියාව සිංහල ජාතියත් බුදු දහමත් මේ බිමෙන් තුරන් කරලීම සදහා දියත් කරවමින් පවතින දැවැන්තම මනෝමූලික කුමන්ත්‍රණය ලෙස හැදින් විය හැකිය.

බුදුන් වහන්සේ යනු නිර්මානවාදී දෙවියෙකු හෝ එවැනි අයෙකුගේ අනුගාමිකයකු නොවේ. උන්වහන්සේ ස්වොත්සාහයෙන්ම සංසාර විමුක්තිය එලි පෙහෙලි කරගත් ශාස්තෲ වරයෙකි. අනෙකුත් සියලුම ආගම්වල පාහේ එම ආගමික දර්ශනය දේශනා කරන ලද ප්‍රධාන දේශකයාගේ මුල් ගුරුවරයා හෙවත් මූලය දෙවියන්ය.. එනිසා ඒ උතුමන්ද කවරකුගේ හෝ ශ්‍රාවක අනුගාමිකයන් මිස ශාස්තෲ වරුන් නොවේ. අනෙකුත් ආගමික නායකයන් හා බුදුන් වහන්සේගේ අතර ඇති මූලිකම වෙනසකි එය. බුදුන් වහන්සේ ශාස්තෲවරයකු ලෙස අපි ගරුකරන්නේද ඒ නිසාය. එසේම බුදුන් වහන්සේ යනු සියලු කෙලෙසුන් ප්‍රහීන කල අයෙකි.. එවැනි ශාස්තෲවරයන් වහන්සේ නමක් කෙළෙසුන්ගෙන් යක්ත වූ පිරිසක් අතර සමතැන් ගැන්වීම නම් බෞද්ධයකුට කරනවා තබා සිතියවත් හැකි කාරණයක් නොවේ.... එසේ නම් සියලුම ආගම් එකය කියන සර්වාගමික නිකායේ භික්ෂූන්ට අනුව බුදුන් වහන්සේත්, මුහම්මද් නබි තුමාත් එකය... බුදු දහමත්, කිතු දහමත්, ඉස්ලාමයත් එකය...

"අසාරේ සාරමතිනෝ සාරේ චාසාරදස්සිනෝ
තේ සාරං නාධිගච්ජන්ති මිච්ඡාසංකප්පගෝචරා"

"නිසරු දේ සරු ලෙසත් සරු දේ නිසරු ලෙසත් දකින පුද්ගලයා සරු දෙයක් නොලබත්"

සරු දෙය සරු ලෙස දකිමින් නිසරු දෙය බැහැර කරනා ලෙස බුදුන් වහන්සේ වදාළා මිසක හැම ආගමකටම ගරු කරන්න, හැම ආගමක්ම කර තබාගෙන දුවන්නැයි කිසි විටද දේශනා කර නැත. එහෙත් මෙකී සර්වාගමික නිකායිකයින් අහිංසක සිංහල බෞද්ධයින් රැවටීම සදහා බුද්ධ දේශනයද කණපිට හරවා රීමික්ස් කර දේශනා කරති.

තිලෝගුරු බුදුපියාණන් වහන්සේ විසින් "නිර්මානවාදී දේව සංකල්පය" දැඩිලෙසම ප්‍රතික්ෂේප කර ඇත. (දීඝ නිකායේ_ බ්‍රහ්මජාල සූත්‍රය වැනි සූත්‍ර දේශනා වල මෙය පැහැදිලිවම අඩංගු වේ) එසේනම් බුදුන් වහන්සේ විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන ලද සංකල්ප පසුපස්සේ බුදුන් සරණ ගිය සැබෑ බෞද්ධයන්ට දිවිය හැකිද? එවැනි අය බොඩ් ලෑල්ලට පමණක් සීමා වූ බෞද්ධයන් නොවේද? බුදුන් වහන්සේ හා දේව සංකල්ප සම තැන ලා සලකන ඔවුන් බුදු දහමට කරන්නේ බරපතල නිගාවක් බව පැහැදිලියි නොවන්නේද?

වසර දහස් ගණනක බුදු දහමේ ආලෝකයෙන් සාමුහිකත්වය, සහජීවනය වැනි උතුම් ගුණ ධර්ම ප්‍රගුණ කර ඇති බෞද්ධයාට ආගමික සහජීවනය (Religious Co-existence) පිළිබද නැවත නැවත ඉගැන්විය යුතු නොවේ. සිංහලයින් තුළ බෞද්ධයින් තුළ එවන් ආගමික සහජීවනයක් නොතිබුණි නම් දළදා මාලිගාව අසල මුසල්මානු ඇදහීම් ස්ථාන පවත්වාගෙන යන්නේ කසේදැයි ප්‍රශ්න කළ යුතුය. පෞරාණික බොදු සිද්ධස්ථාන වනසා ඒ මත ඉදිකළ කිතුණු පල්ලි අධිරදවාදීන් මේ රට හැර ගිය පසු පවා අද දක්වාත් නිරූපද්‍රිතව පවතින්නේ කෙසේදැයි ප්‍රශ්න කළ යුතුය. එම නිසා ආගමික සහජීවනය මුවාවෙන් බෞද්ධකම වනසන අමුතු සංකල්ප බෞද්ධයින්ට අවශ්‍ය නැත.

මේ සියලුම සිදුවීම් වලින් අන්තිමට විනාශ වන්නේ සිංහල බෞද්ධයාය. අවසානයේ බිහිවන්නේ ආගමක්, ජාතියක්, ජන්මයක් නැති ගෝත්‍රිකයන් පිරිසකි. තමන් සිංහලද, බෞද්ධද, නැත්නම් සර්වජාතිද සර්වාගමිකද කියා ‍ඔවුන්ට ‍ඔවුන්වත් හදුනාගත නොහැකි වනු ඇත. සර්වාගමික සංකල්පය නමින් දියත් වන්නේ සිංහල බෞද්ධ සමාජය ඒ බිහිසුනු ආගාධයට ඇද දැමීමේ කුමන්ත්‍රණයයි. සහජීවනය මුවාවෙන් මේ එල්ල වෙමින් පවතින්නේ බුදු දහමටත් සිංහල ජාතියටත් එරෙහිව දියත්වන දැවැන්තම ප්‍රහාර වලින් එකකි. ඔබ බුදුන් සරණ ගිය සැබෑම බෞද්ධයකු නම්. බුදු දහමේ උන්නතිය වෙනුවෙන්, ආගමික සහජීවනය නැමති ලේබලයෙන් ඔතා දෙන අන්‍යාගම් අතර බුද්ධාගම දියකර හරින "සර්වාගමික සංකල්පය" නැමති බොදු විරෝධී ව්‍යාජ සංකල්පයට දැඩි ලෙස එරෙහි වීමත් සර්වාගමික මායාවට රැවටී තව තවත් අන්ධකාරයට යන බොදුනුවන් දැනුවත් කිරීමත් ඔබේ යුතුකමයි.

පූර්ව සටහන උපුටා ගැනීම - සොරි ඩොට් කොම් ෆේස්බුක් ජාලය.

No comments:

Post a Comment

Designed By Published.. Blogger Templates